Friday, February 24, 2017

සුදු මාමා

පුවත් පතට ලිවුවේ  :-  විනීතා චන්ද්‍රලතා ධනපාල     කොටඹේ, රූපහ 
පුවත් පත                :- ලංකාදීප        (  රසවිත )
දිනය                      :- 2017 පෙබරවාරි මස 12 ඉරිදා 

                                                             සුදු මාමා අපේ අම්මාගේ බාල මලනුවන්‍ ය. වෘත්තියෙන් ගුරුවරයෙකු වූ ඔහු අවිවාහකයෙකි. සුදු මාමා පවුලේ අන් අයට වඩා මට ආදරය කල හෙයින් ජීවිතයේ අග භාගයේදී දැනෙන තනිය මකා ගන්නට මා ළඟට පදිංචියට ආවේය.

 මාත් මගේ බිරිඳ ප්‍රියානිත් රජයේ සේවකයන් වූයෙන්, විශ්‍රාමික සුදු මාමා අපට හැම අතින්ම ශක්තියක් වූවේය. ගෙදර දොර කටයුතු, ළමයින්ගේ වැඩ, බොහෝමයක්ම කෙරුණේ මාමා අතිනි. 

අපට ඔහු අතිරේක දෑතක් වූවා යැයි කිවුවොත්, එය අතිශයෝක්තියක් නොවේ. මෙය මෙසේ වුවද කාලයාගේ ඇවෑමෙන් සුදු මාමා රෝගාතුර විය. දැන් ඔහුගේ දුක සැප බැලීමත් අන් හැමදේමත් අප විසින් කල යුතු විය. ප්‍රියානිට මෙය මහත් හිසරදයක් විය. ඇගේ හැසිරීමෙන් මට ඒ බව මනාව පසක් විය. ඇය මා සමඟ අහේතුකව උරණ වන්නීය. වැඩ ඇරී ආ විගස ඇය ළමයින්ට කෑ ගසන්නේ ඔවුනගේ වරදක් දුටුවාටම නොවේ. මේ හැමදේම මට කරන්නට බෑ. ගෙදරට කවුරු හෝ උදවුවට හොයාගන්න බැරිද? මට මෙහෙම නැහෙන්ට බෑ කියමින් මා ළඟින් එහෙ මෙහෙ දුවන්නේ මේ සියල්ලටම වගකිව යුත්තේ මා බව හඟවමිනි. 

අසරණ සුදු මාමා මේ සියල්ල දරාගෙන කෙඳිරිගෑවා මිස ඔහුට කළ හැකි අන් දෙයක් නොවීය. රෝගය උත්සන්න වූ දිනක සුදු මාමා මා අමතා  "පුතේ, මගේ අල්මාරියේ සෑහෙන මුදලක් තියෙනවා. මම හදිසියේ මැරුනොත් ඒ කටයුතු කරන්නට ඒවා සෑහෙයි. පුතාලට කරදරයක් වෙන්නෑ" යි කීවේය. "සුදු මාමා ඒවා ගැන හිතන්න එපා. අසනීපය සුවකරගන්නකො", මම  දැරිය නොහැකි වේදනාවෙන් පැවසීමි. 

සතියක් හමාරක් ගත විය. අප නොසිතූ අයුරින් සුදුමාමාගේ අවසානය සිදු විය. මා හට කළ හැකි උපරිම අයුරින් ඔහුගේ අවසන් කටයුතු නිම කළෙමි. ඒ රටට පෙනෙන්නට නොව, සුදුමාමා කෙරෙහි තිබූ දැඩි සෙනෙහස නිසාවෙන්මය. මාමා මිහිදන් කළ හවස් ජාමයේ නෑදෑ හිතමිතුරන්ගෙන් හිස් වූ පාළු බවත්, වේදනාවත්, මකා ගන්නා රිසින් මම බිරිඳට කතා කලෙමි. ඇය ගස්සාගෙන ගියාය.

" ප්‍රියානි! ඇයි මේ?  අපි කොච්චර හොඳට සුදුමාමාගෙ අවසන් කටයුතු කළාද?" ඇය විදුලියක් මෙන් හැරී  "ඔවු! සේසතම ඉවරයි. මේ දරුවන්ට යන කලදසාව මොකක්ද?" ඇය කේන්තියෙන් කීවාය. "කොහොමද දැන් ණය ගෙවන්නෙ? පවුලෙ අනිත් උන් හැරිලවත් බැලුවද? ඒ මිනිහා මැරිලා ගියා. මායි මගෙ දරුවොයි අනාතයි. ලෙඩට වියදම් කලා. මරනෙට වියදම් කලා. මාසෙ අන්තිමට එන තුට්ටුවෙන් ණය ගෙවුවම ජීවත් වෙන්නෙ කොහොමද?" 

ප්‍රියානිගේ කටුක කන්කරච්චලය දරා ගන්නට බැරි තැන මම වත්ත පහලට ගියෙමි. ඈත වනරොද මැද සුදුමාමාගේ සොහොනේ කොඩිය සුළගේ වැනෙනු පෙණින. මට දැරිය නොහැකි වේදනාවක් දැනිණි. "අනේ! ඔහුගේ ආත්මය මේ අහලක සිට ප්‍රියානිගේ දෙස් දෙවොල් අසා සිටී නම්" යි මට සිතුණි. පපුවේ කිසිද නොනිවෙන ගින්නක් ඇවිලෙන්නා සේ දැනුණි. මේ ගිණිදැල් මැදින් සුදු මාමා කී දෙයක් මට මෙනෙහි විය. "පුතේ මගේ අල්මාරියේ සෑහෙන මුදලක් ඇති. මගේ අවසන් කටයුතු වලට එය සෑහෙයි." මම හනික නිවසට ගියෙමි.සුදුමාමාගේ අල්මාරිය විවෘත කළෙමි. ඔහුගේ පරණ ඇදුම් මැද්දේ පුංචි පාර්සලයක් විය.මම හනික එය දිග හැරියෙමි. ඒවා මුදල්‍ ය. මාමා එකතු කල මුදල් ය.ගැන බැලුවෙමි එහි ලක්ෂ ගාණක් විය. 

මම ප්‍රියානි සොයා ගියෙමි. ප්‍රියානි ඔයා කිවුව විදියට සුදු මාමා අපිව රටට ණයකාරයො කරල අවසන් ගමන් ගියේ නෑ. මම හඬා වැටෙමින් මුදල් පසුම්බිය ප්‍රියානි අත තැබුවෙමි. ප්‍රියානිගේද,කම්මුල් දිගේ කදුලු රූරා වැටෙනු මම දුටුවෙමි. 


No comments:

Post a Comment