Friday, February 24, 2017

ළිඳෙන් ගොඩ ගන්න - නංගි මට දෙන්න

පුවත්පතට ලිවුවේ         :- ආචාර්ය  පියසේන රතුවිතාන 
පුවත් පත                      :-  දිනමිණ   ( මතක කතා ) 
දිනය                             :- 2017 පෙබරවාරි මස 24  සිකුරාදා 


මේ නිට්ටඹුව ගුරු විදුහලේ වූ සිදුවීමකි. 59-60 වර්ෂයේ පුහුණු වන කාලසීමාව තුල පුහුණු වන පිරිස අතර වූ හැමදෙනාගේම අවධානයට යොමු වූ චරිතයකි. ඒ ජයසූරිය මල්ලී ය. 

ජයසූරිය මල්ලී සමඟ සාමීචියේ යෙදී සිටින බොහෝ අවස්තා වලදී ඔහුගේ මුවින් පිටවන වචනයක් විය. ඒ අපේ නංගී හරිම ලස්සනයි. මං වගේම ලස්සනයි යන්නයි. මේ වැකිය කොතරම් ප්‍රබල වූයේදැයි කියතොත් ජයසූරිය මල්ලීව කෝප කිරීමට අවශ්‍ය වෙතොත් තරමක දුරින් සිට"උඹේ නංගිව මට දීපන්කෝ" යි කියයි. මෙයින් කෝපවන ජයසූරිය මල්ලී ඔහුට පහර දීමට පසුපස හඹා යයි. එවිට ඔහුගෙන් ගැලවීම පහසුය. එසේ කියා විදුහල්පතිගේ හෝ කතිකාචාර්‍යවරයකුගේ කාමරය පැත්තට දිවීමය. සමහර අවස්ථාවකදී ඒ වැකිය කඩදාසි කැබැල්ලක ලියා ඔහුගේ නිදන ඇඳ මත තබයි. තවත් සමහර විටෙක ජයසූරිය මල්ලී නොකියා "මස්සිනා" කියා අමතයි. ජයසූරිය එයින්ද කිපෙයි.

 පුහුණු වන ගුරු පිරිස ස්නානය සඳහා යන්නේ  ඒ අසලම වූ විශාල ළිදකටය. ඒ ළිඳෙන් එකවර හත් අට දෙනෙකුට වුවත් ස්නානය කල හැකිය. 

එක් දිනෙක දැරණියගල ද ඇතුලුව තවත් කීප දෙනෙක් ස්නානය පිණිස එකී ළිඳට ගියහ. හත් අට දෙනෙකු ස්නානය කර නිමවන තුරු තව පිරිසක් ඒ අසළම වෙයි. එසේ ස්නානය කරමින් සිටි පිරිස අතර ජයසූරිය මල්ලීත් විය දැරණියගලත් විය. එදා හදිසියේම ජයසූරිය මල්ලීව ළිඳට වැටුනේය. ළිද ගැඹුරු නැත්තේ නොවේ. ළිඳ උතුරන තරමට ජලය තිබෙන අවස්තාද වේ. එදා ඒ ළිං පොකුනේ ජලය අඩුය. ජයසූරිය මල්ලීට පිහිනීම බැරිය.ඔහු කෑ ගැසුවේය. ළිඳට නැඹුරු වූ දැරණියගල වහා ජයසූරියට අත දුන්නේය. "අනේ මන් ගොඩට ගනින් බං මට පීනන්නත් බෑ" යැයි කෙඳිරි ගෑවේය. 

"ගන්නම් හැබැයි නංගිව මට දෙනවා කියපන්" යි දැරණියගල කීවේය. "මගුල් කතා නොකියා මාව ගොඩට ගනින් බං නැත්නම් මන් මැරෙයි"  ජයසූරිය මල්ලී මර ලතෝනි දෙයි.  "නංගී දෙනවයි කීවොත් තමයි ගොඩ ගන්නේ" යි කී දැරණියගල ජයසූරියගේ අත අතහැරියේය. ඔහු යළිත් මර ලතෝනි දෙයි. 

දැරණියගල දෙවෙනි තෙවැනි වරටත් ඔහුගේ අත අල්ලාගෙන ඒ ප්‍රශ්නයම අසයි. බැරිම තැන "දෙන්නං යකෝ දෙන්නං! ඊට කලින් මාව ගොඩගනිං" යි  කියමින් ජයසූරිය කෑගසයි. එහෙම බෑ පොරොන්දු ලියවිල්ලකට අත්සන් කරන්න ඕනෑ යි කියා හෙතෙම යළිත් ජයසූරියගේ අත මුදා හරියි. කෙසේ හෝ කඩදාසියක්, පෑනක් ගෙන්වා ගෙන ඔහු ගොඩට ගත්තේය. එතැන සිට වැඩේ බරපතල විය. එහාට මෙහාට දුවපැන අමු පොල් පිත්තක් හොයාගෙන ජයසූරිය දැරණියගලට පහර දෙන්නට සූදානම් වනු දුටු දැරණියගල සැණින් විදුහල්පතිතුමාගේ කාර්‍යාලය වෙතට දුව ගිය අතර ජයසූරිය අමෝරාගත් පොල්පිත්ත ද රැගෙන කාර්‍යාලය තුළටම ඇතුලු විය. 

දැරණියගල කාර්‍යාලයට ඇතුලු වනු දුටු විදුහල්පතිතුමා "මේ මොකද මේ " යි අසමින් මවිත විය. "සර් ජයසූරිය මල්ලී මට ගහන්න එනවා." යි දැරණියගල කීවේය. එවිට නාන ඇඳුම පිටින් ලුහුබැඳ එන ජයසූරියගේ සාහසික විලාසය තේරුම් ගත් විදුහල්පති තුමා ජයසූරියට තර්ජනාත්මක හඬින් කතා කරන විට පොල් පිත්ත ඉවතට විසිකල ඔහු, "සර් මාව ළිඳට වැටුනා! වැටුනා නෙවෙයි අන් හිතන්නෙ මාව තල්ලු කලා කියලයි. මාව ගොඩට ගන්න නම් මගේ නංගිව ඔහුට දෙන බවට කඩදාසියක අත්සන් කලාට පසුවයි මාව ගොඩගත්තේ!මේ අනෙක් එකෙක්වත් හිනාවෙවී හිටියා මිස මට උදවු කලෙ නෑ.." 

ජයසූරිය නිතර නිතර තම නැගණිය ලස්සනකාරියකැයි කියන බවත් අනෙක් අය එය මුල්කරගෙන ජයසූරියව කෝප කරන බවත් විදුහල්පති තුමා ආරංචි මාත්‍රයෙන් දැන සිටියේය.

ඒ නිසා විදුහල්පති තුමා අමාරුවෙන් හිනාව යටපත් කරගත්තේය. නඩුව පසුව විභාග කරන බව කී විදුහල්පති තුමා ජයසූරියට නාගෙන එන්නැයි පිටත්කර කාර්‍යාලය තුලට ගිය පසුව ජයසූරිය දෙස බලා "මස්සිනා වැඩේ අකුරට කෙරෙනවා නොවේදැයි" හෙමින් ප්‍රශ්න කලේය.ඒ වනවිට තවත් දහ දොලොස් දෙනෙකුට වැඩි පිරිසක් එහි විය.

සතියකින් නඩුව අසා දැරණියගල ඒ වරදට නොව ඊට කලින් කල වැරදි කීපයකට දඬුවම් ලෙස 'අපායට' දැම්මේය. ගුරු විදුහලේ අපාය යනු විදුහල්පතිතුමාගේ කාමරයට අල්ලපු කාමරයයි. 

No comments:

Post a Comment